නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමන්වේති – චක්කංව වහතෝ පදං යමක වග්ග, ධම්මපද සැදැහැවත් පින්වතුනි, බුදු කෙනෙක් ලෝකයේ පහළ වීමම හිතක ඇති ප්‍රාතිහාර්ය ශක්තිය පෙන්නුම් කෙරෙන සිද්ධියක්. හිතක දියුණුවේ, පිරිසිදු බවේ, පහන් බවේ, උපරිම මට්ටම, අපට දකින්නට පුළුවන් වෙන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් තුළින්. ඒ වගේම, ඒ වගේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා, ධර්මය දේශනා කරන්නෙත්, අපේ සිත දියුණු කර ගැනීමට, පිරිසිදු කර ගැනීමට, පහන් කර ගැනීමට මහ පෙන්වීමටයි. මේ සංසාරයෙන් මිදීම කියලා කියන මේ සංසාර විමුක්තියට, සසර දුකින් මිදීම කියන මේ බරපතල වැඩේට, මේ මහා වැඩ පිළිවෙලට, මූලික වන්නේ අපේ සිතයි. මේ හිත ප්‍රයෝජනයට අරගෙනයි - වෙන විද්‍යාත්මක උපක්‍රම වලින් නොවෙයි - මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නෙ. මේ අපේ සිත, පටු වෙන්නෙ පුළුල් වෙන්නෙ, ඒ වගේම පුංචි වෙන්නේ, ලොකු වෙන්නේ, මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ, සිත ගන්නා අරමුණ අනුවයි. ඒ බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වලදී උදාහරණ සහිතවම පෙන්නුම් කරලා දීලා තියෙනවා. අපේ හිත පුංචි අරමුණක් ගත්තොත්, සිත පුංචි වෙනවා, ලොකු අරමුණක් ගත්තොත් ලොකු වෙනවා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවට අදාල නිදාන කථාවෙන් අපට මේ සිතේ ක්‍රියා කාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සැවැත්නුවර සිටියා, බොහොම ධනවත්, නමුත් ඉතාමත්ම මසුරු බ්‍රාහ්මණයෙක්, මේ බ්‍රාහ්මණයා කාටවත් කිසිදාක් කිසිවක් දුන්නේ නෑ කියන අදහසින්, ඒ අදහස අනුව, සමාජය මේ බමුණට නමක් දුන්නා, පටබැන්දා “අදින්න පුබ්බක” කියලා. අදින්න පුබ්බක කියන වචනෙ සිංහල තේරුම “නුදුන් විරූ”. කවදාවත් කාටවත් දුන්නේ නෑ කියන එක. “නුදුන් විරූ” කියලා මෙයාට නමක් වැටුනා - මේ බ්‍රාහ්මණයාට. මේ කාලේ වගේම ඒ කාලේ මිනිස්සු නම් පටබඳින්න බොහොම දක්ෂ නිසා වෙන්න ඇති. ඉතින් මේ බමුණාට සිටියා එකම පුත්‍රයෙක්. බොහොම ප්‍රියමනාපයි. පුතාට බොහොම ආදරෙයි, එකම දරුවා නිසා. නමුත් ඊට වැඩිය ආදරෙයි තමන්ගේ ධනයට. ඒක නිසා මේ පුතාට ඒ සමාජයේ චාරිත්‍රය අනුව කර්ණාභරණ හඳුනන සිද්ධඋනාම මේ බමුණා කල්පනා කළා “දැන් රන් කරුවෙක් ගෙන්නෙව්වොත් මේ වැඩේට මගෙ ධනය විනාශ වෙනවා. ඒක නිසා මමම කර්ණාභරණ හදන්න ඕන”ය කියලා. පොඩි රත්තරන් කෑලි දෙකක් තලලා මේ දරුවාගෙ කනේ එල්ලුවා. ඉතින් මේ දරුවටත් ඒ විදියටම නමත් පටබැඳුනා සමාජයෙන් මේ කණේ එල්ලපු ආභරණය අනුව “මට්ට කුණ්ඩලී” කියලා. “මට-කොඩොල්”- මට්ටම් කරපු රත්තරනින් කර්ණාභරණ - කඩුක්කන් කියලා කියන්නේ, අන්න ඒ වගේ දෙයක් එල්ලූ නිසා. ඉතින් ඔය විදියට, මේ දරුවා ඉතාමත්ම දුක්ඛිත විදියට ජීවිතය ගත කළ නිසාම වෙන්නත් ඇති අවුරුදු දහසය වෙතර වෙනකොට පාණ්ඩු රෝගයක් හැදුනා. බරපතල පාණ්ඩු රෝගයක්. මව් බැමිණි කිව්වා බමුණට ගිහිල්ලා වෙදෙක් ගේන්න කියලා. මේ බමුණා කියනවා “පේන්නෙ නැද්ද වෙදෙක් ගෙනාවොත් මගේ ධනය විනාශ වෙන හැටි.” එහෙම කියලා ඒ වෙනුවට කළේ වෙද්දු ලඟට ගිහිල්ලා, වටින් ගොඩින් - වටින් ගොඩින් කථා තාලෙකින්, වෙද්දුන්ගෙන් ඒ බෙහෙත් පිළිවෙලක් දැන ගන්න උත්සාහ කළා. මේ මේ අසුවල් අසුවල් රෝගයට මොනවද දෙන බෙහෙත් කියලා. මේ වෙද මහත්වරු කියන අයත් බොහෝවිට ඔය වටින් ගොඩින් අහන දේවල් වලට ආවාට ගියාට කියන්නේ බෙහෙත්. ඒ වගේම ආවාට ගියාට වෙද මහත්තුරුත් කිවුවා අන්න අසුවල් අසුවල් ගස්වල පොතු මේ වගේ රෝගයට හොඳයි කියලා. මේ බමුණත් ගෙදර ඇවිල්ලා, මේ පොතු හොයාගෙන ඇවිල්ලා, මේවායින් ගොඩ වෙදකමක් කළා. මේ ගොඩ වෙදකම හරි ගියේ නෑ. මේ දරුවගේ රෝගය අසාධ්‍ය උනා, උත්සන්න උනා, මේක හොඳ කරන්ට බැරි තත්ත්වෙකට වගේ පත් උනා. කොහොම හරි බැරිම තැන මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා වෙද මහත්තයෙක් එක්ක ගෙනා ආවා. වෙද මහත්තයෙක් බැලුව හැටියේ තේරුම් ගත්තා, මම මේකට බෙහෙත් කරන්ට ගත්තොත් මගේ නමත් නරක් වෙනවා කියලා. ඒක නිසා “මට වෙන වැඩක් තියෙනවා, වෙන වෙදමහත්තයෙක් ගෙන්නන්න” කියලා හෙමිහිට පිට උනා. එතකොට බමුණා තේරුම් ගත්තා දැන් මේ දරුවා මරණාසන්නයි කියලා. ඊළඟට කල්පනා කරනවා මේ පුතා මැරුණහම මළගෙට එන අය දකියි මගේ ගෙයි ඇතුලේ තියෙන ධනය, කියලා හිතලා මේ මරණාසන්න දරුවව පිලේ, ඒ ඉස්තෝප්පුවේ, හාන්සි කෙරෙව්වා. එතකොට මෙන්න මේ කියන දවසේ බුදු පියාණන් වහන්සේ වෙනදා වගේම උදෑසන අලුයම් කාලේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය බලා වදාරන කොට මේ මට්ටකුණ්ඩලී ඒ බුදු ඇසට පෙනී ගියා. ඒ මහා කරුණා සමාපත්ති ඥානය බුදුකෙනෙකුන්ට පමණක් විශේෂ වූ මහා පුදුම ඥානයක්. මුළු මහත් සංසාරයේ දියුණු කළ ප්‍රඥාව, මහා කරුණාව, පිහිට කරගෙන බුදු කෙනෙකුට පහළවෙන පුදුම විදියේ සමාපත්තියක්. සමාපත්තියෙන් නැගිටලා බුදු පියාණන් වහන්සේ ලෝකය බලනකොට පෙනෙන්නේ බොහෝවිට අතීත බුදුවරුන් ළඟ නොයෙකුත් කුසල් කරලා ඒවා මෝරලා තියෙන අයයි. ඉතින් කොහොම නමුත් මේ දුක්ඛිත විදියට ජීවිතය අවසාන කරන්න සූදානම් වෙලා ඉන්න මට්ටකුණ්ඩලීත් බුදු පියාණන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා. ඉතින් බුදු පියාණන් වහන්සේ එදා මහා කරුණාවෙන් ඒ බමුණාගේ ගෙදර තියෙන වීදියට භික්ෂු සංඝයා වහන්සේලා පිරිවරාගෙන පිඬු සිහා වැඩියා. මේ ගෙදර හරියට එනකොට බුදු පියාණන් වහන්සේ දැක්කා මේ දරුවා අර ගේ ඇතුල් දිහාවට හැරිලා නිදගන්නවා. ඒ කියන්නේ බිත්තිය දිහාවට හැරිලා නිදගන්නවා. දැකලා බුදු පියාණන් වහන්සේ අවධානය යොමු කරවන්න කලේ, බුද්ධ රශ්මියක්, එක බුදු රැසක්, ඒ පැත්තට විහිදෙව්වා. එතකොට මේ බිත්තියට ආලෝකය වැටුනහම මේ දරුවා හැරිලා බැලුවා. බලලා බුදු පියාණන් වහන්සේගේ රූප කාය දැකලම විශාල ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන, “අනේ මගේ මේ මෝඩ පියා නිසා මට මේ වගේ බුදු කෙනෙක් දකින්න, උපස්ථාන කරන්න, බණ අහන්න, දන් දෙන්න, අවස්ථාවක් ලැබුනේ නැහැ” කියලා, ඊළඟට අත් දෙක ඔසවන්න උත්සාහ කළා දොහොත් මුදුනේ තබලා වඳින්න. නමුත් දුර්වල අවස්ථාව නිසා, ඇඟිලි ටික එකතු උනා විතරයි. ඊළඟට කල්පනා කළා මට දැන් කරන්න තියෙන්නේ හිත පහදවා ගැනීම පමණයි කියලා මුළු හිතින්ම, සාමාන්‍ය සැක සහිත මොකුත් නැතිව - එහෙම පිටින්ම සම්පූර්ණ හිතම යොදලා හිත පහදවා ගත්තා බුදු පියාණන් වහන්සේ කෙරෙහි. ඊළඟට බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්දෙද්දීම බුදු පියාණන් වහන්සේ කල්පනා කළා ‘මේ පින්ම ඇති මෙයාට’ කියලා. බුදු පියාණන් වහන්සේ එතනින් වැඩම කළා. බුදු පියාණන් වහන්සේ නොපෙනෙන මායිමට - නොපෙනෙන හරියට - වඩිනවත් එක්කම මේ මට්ටකුණ්ඩලී දරුවා කලුරිය කරලා, මරණයට පත්වෙලා, ඒ පැහැදුණු සිතින්ම මරණයට පත්වෙලා, තව්තිසා දිව්‍යලෝකෙ තිස් යොදුන් රන් විමානයක ස්වර්ණාභරණ වලින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක්ව උත්පත්තිය ලැබුවා. එතකොට එහෙම ඉපදිලා ඊළඟට බැලුවා මේ දිව්‍යසම්පත්තිය කොහොමද මට ලැබුනේ කියලා. ඒ වගේ දෙවිවරු හැමකෙනෙක්ම ඒ විදියට ආවර්ජනා කරලා බලනවා. මා මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා. එතකොට පෙනුනා තමන්ගේ පිය බමුණාගේ මේ තත්ත්වය. බමුණා කළේ මේ මළ කඳ දවලා ඉවර වෙලා හැමදාම සොහොනට ගිහිල්ලා අඬනවා. “කෝ මගේ එකම පුතා, කෝ මගේ එකම පුතා” කියලා. බමුණාගේ මේ හැසිරීම දුටුවා. දැකලා මට්ටකුණ්ඩලී දිව්‍යපුත්‍රයා කල්පනා කළා එයාට පාඩමක් උගන්වන්න ඕන කියලා. මට්ටකුණ්ඩලී ස්වරූපයෙන්ම නමුත් ස්වර්ණාභරණ ආදිය පැළඳි තරුණයෙක් හැටියට ඒ සොහොන ළඟට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. එතකොට මේ බමුණා මේ දිව්‍යපුත්‍රයා දැකලා - තමන්ගේ දරුවගේ ස්වරූපය තියෙන නිසාද කොහොද, යම් කිසි විශේෂ ඇල්මකින් ඇහුවා “මොකද අඬන්නේ” කියලා. එතකොට කියනවා “මට මේ රත්තරන් කරත්ත කුඩුවක් ලැබුනා. ඒකට හොඳ රෝද හොයාගන්නා බැරිකම නිසා ඒ දුකින් මම මේ මැරෙන්නයි බලාපොරොත්තුව” කියලා, දිවි නසා ගන්නවා කියලා. එතකොට බමුණා කියනවා “මම ඔබට ඕන නම් රත්තරන් වලින් හරි රිදියෙන් හරි ලෝහයෙන් හරි ඔබට ඕන කියන විදියට මම රෝද හදවලා දෙන්නම්” එහෙම කිව්වහම මේ දිව්‍ය පුත්‍රයා කියනවා “මට වෙන රෝද වලින් වැඩක් නෑහැ, ඉරයි හඳයි තමයි මට ඕන” කියලා. එතකොට බමුණා කියනවා “ඔය මෝඩ ළමයා මොකද මේ විදියට තමාට ලබා ගන්ට බැරි දෙයක් පතන්නේ?” කියලා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා කියනවා “මම නම් මේ දකින්න ලැබෙන ඉරයි හඳයි පතන්නේ. ඔබ පතන්නේ මිය ගිය පුත්‍රයා. දකින්ට නොලැබෙන කෙනෙක් පතන්නේ. අපි දෙන්නගෙන් වැඩිය මෝඩයා කවුද” කියලා ඇහුවම ඔන්න බමුණට නුවණ පෑදුනා. ඒ වගේම ශෝකය නිවා ගත්තා. නිවාගෙන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට ස්තුති කරමින් ප්‍රකාශ කළා මම ශෝකය නිවා ගත්තා කියලා. ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා “මම ඔබගේ පුත්‍රයා, අවසාන මොහොතේ මේ විදියට සිත පහදවා ගෙන යම් කිසි කුසල් සිතක විපාක වශයෙන් මම මෙවැනි උත්පත්තියක් ලැබුවා” කියලා. එතකොට බමුණා කියනවා “මම දැක්කේ නෑ ඔබ දන්දෙනවා, සිල් රැකීම් ආදී ධර්මය ඇසීම් ආදී කිසි පින් කමක් කරනවා, කොහොමද මේ තත්ත්වය ලැබුනේ කියලා.” එතකොට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා “මම බුදු පියාණන් වහන්සේ මෙහෙ වැඩිය අවස්ථාවේදී සිත පහදවා ගත්තා. ඒ පහන් සිතෙහි, ඒ පැහැදුන සිතෙහි, විපාකයක් වශයෙන් මේ විදියේ තත්ත්වයක් ලැබුවා” කියලා. ඊළඟට බමුණට අවවාද කරනවා “ඔබත් තුරුණුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්නා. බුදු පියාණන් වහන්සේ දැකලා දන්දීලා බණ අහලා ඒ විදියට ඒ කුසල් රැස්කර ගන්න” කියලා අතුරුදහන් උනා, මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා. බමුණත් බුදු පියාණන් වහන්සේ දකින්න ගිහිල්ලා දනට ආරාධනා කරලා ඔන්න ඒ ගෙදර දන් පිළියෙල කළා. බුදු පියාණන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේලාත් දනට වැඩම කළා. ඒ වගේම මිථ්‍යා දෘෂ්ටිකයින් පවා මේ බමුණාගේ ගෙදරට පිරිසක් විශයෙන් රැස් උනා. මේ අවස්ථාවේදී බමුණා දානය පිළිගන්වලා දන් වළදලා අවසානයේදී බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා “දන්දීම් සිල්රැකීම් බණ ඇසීම් ආදී කිසිවක් නැතිව ඔබ වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් පමණකින් කොහොමටද දිව්‍යලෝක සම්පත් ලබාගන්නා පුළුවන්ද?” කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “ඇයි බමුණ, නුඹේ පුතාම ඒ කාරණය කිව්වා නේද” කියලා. මේ විදියට ඊළඟට බුදු පියාණන් වහන්සම ඒ කාරණය ප්‍රකාශ කළහම ඒ පිරිස අතර සමහර කෙනෙක් සැක ඇති කර ගත්තා. කොහොමද මේ සිත පහදවා ගැනීමෙන් පමණක් මේ තරම් ලොකු සම්පත්තියක් ලබන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ ඊළඟට අධිෂ්ඨාන කළා මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විමානයත් සමගම මෙහි ඒවා කියලා. ඒ වගේම ඒ දිව්‍යපුත්‍රයා විමානයක් සහිතවම ඒ ස්ථානයට පැමිණිලා විමානයෙන් බැහැලා බුදු පියාණන් වහන්සේට වැඳලා එකත්පසෙක සිටියාම බුදුපියාණන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයා ලවාම ඒ කළ කර්මය පිළිබඳව කාරණා අසලා, ප්‍රශ්නෝත්තර වශයෙන් අසලා, පිරිසගෙ සැක දුරු කළා. ඒ පිරිස එකකොට ලොකු පැහැදීමක් ඇතිකර ගත්තා. බුදු ගුණය කොයිතරම් ආශ්චර්යවත්ද? බුදු කෙනෙක් පිළිබඳව හිත පහදවා ගත් පමණින් මේ තරම් සම්පත්තියක් ලබන්න පුළුවන් නේද කියලා ලොකු ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කර ගත්තා. ඒ වගේ, බුදු පියාණන් වහන්සේ ඊළඟට ඒ කාරණය පැහැදිලි කිරීම වශයෙන් අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මයෙන් ඉතාමත්ම වටිනා ධර්ම පණිවිඩයක් ලෝකයාට දී වදාළා මේ සිද්ධිය ආශ්‍රයෙන්. මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී ඒ කියන්නේ, “මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා” දැන් ඔය මෙතන ධම්ම කියලා කියන එක සාමාන්‍යයෙන් තෝරනවා වේදනා, සංඥා, චේතනා, වැනි සිතේ පහළ වන ධර්මයන්. ඒ හැම එකටම මනස පෙරටු වෙනවා, සිත පෙරටු වෙනවා ඒ වගේම මනස ඒවාට ශ්‍රේෂ්ඨයි. සිත ඒවාට ශ්‍රේෂ්ඨයි. හිතෙන්මයි ඒවා සකස් වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කාරණය එහෙම නිසා “මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා” ඉතාමන්ම පැහැදුනු සිතකින් යම් කිසි පැහැදුන සිතකින් යමෙක් යමක් කියයි නම් හෝ කරයි නම් “තතො නං සුඛමෙන්වේති-ඡායාච අනපායිනී” එවිට ඒ පුද්ගලයා - ඒ කර්මය කළ පුද්ගලයා - පිටුපස තමන්ගේ ඡායාව, සෙවනැල්ල, වගේ එහි විපාක, සැප විපාක, එනවයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. එතකොට මේ ගාථාව තුළ තියෙන අර්ථය කොයි තරම් ගැඹුරුද කියතොත් ඒ ගාථාව අහල මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වගේම අදින්න පුබ්බික බමුණා පවා සෝවාන් ඵලයට පත් උනා කියලා කියනවා. ඒ කියන්නේ සමහර විට අතීතයේ මෝරලා තිබුන කුසල් මතුවෙන්නට ඇති ඒ ගාථාව අහලා. එපමණක් නොවෙයි සුවාසු දහසක් ප්‍රාණීන්ට ධම්මාවබෝධය උනා කියලා කියනවා. එතන ඒ දහස් ගණන් කියලා කියවෙන්නෙ දේවියනුත් ඇතුළුව. මේ බණක් අපි දේශනා කරන කොට මේ පෙනෙන මනුෂ්‍යයින් පමණක් නොවෙයි නොයෙකුත් දේවිදරුන් භූත ආදී සත්ත්ව කොටස් සසර දුකින් මිදීමට කැමති, තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති, නොයෙකුත් සත්ත්ව කොට්ඨාස ඒවාට කන්දෙනවා. බුදු පියාණන් වහන්සේ ධර්මයක් දේශනා කරතකොට විශේෂයෙන්ම ඒ හැම දෙනෙක්ම ඒවාට කන්දෙනවා. අන්න ඒක නිසා තමයි ඔය දහස් ගණන් වලින් සඳහන් වෙන්නෙ ඒවයේ ආනිශංස නෙලාගත්තු අය ගැන. එතකොට මෙන්න මේ ගාථාව ගැන අපි කල්පනා කරලා බලන්ට ඕනෑ. ඒ වගේම මේ ගාථාවට තිබෙන නිදාන කථා වස්තුවෙන් ගත හැකි ආදර්ශයත් අපේ ජීවිතවලට ළංකර ගන්ට ඕනෑ. හැම ධර්ම කථාවකින්ම, හැම ගාථාවකින්ම, අපේ ජීවිතයට යම් කිසි ආදර්ශයක්, යම් කිසි ධර්ම පණිවිඩයක්, එකතු කර ගන්ට ඕනෑ. මේ බණ අහනවා කියන එක ඇසීම් මාත්‍රයකින් පින් එකතු වෙන එකක් නොවෙයි. ඒක නිසා දැන් මේ කථාන්තරය - අපට හිතාගන්න පුළුවන් – ඉතාමත්ම හොඳ නිදර්ශනයක් තමයි මේ සිත හැම දේටම ප්‍රධාන වෙන බවට. අර අදින්න පුබ්බක ගත කළ ජීවිතය දිහා බැලුවහම ඒ කාරණය අපට පැහැදිලි වෙනවා. මේ බමුණා කොයි තරම් ධනය තිබුනත් සිතෙන් දුප්පත්. එයින් අපට පෙනෙනවා පොහොසත් වීම හෝ දුප්පත් වීම ධනයෙන් පමණක් වෙන දෙයක් නොවෙයි. විශාල ධනයක් තිබුණත් යම් කිසි කෙනෙක් මසුරු නම් ඒ තැනැත්තා හිතෙන් නිතරම දුප්පත්. ‘මේ මදි’ එහෙම නැත්නම් “මම තාම දුප්පත්. මම තාම නියම විදියට පොහොසත් උනේ නෑ” කියලා, ඒ තැනැත්තාගේ මසුරුකම නිසා හිතෙනවා. ඉතින් එක නිසා මේ අදින්න පුබ්බක බමුණත් අර තරම් ධනයක් තිබුනට මොකද සිතෙන් දුප්පත්. බොහොම දුගී පුද්ගලයෙක්. ඒ වගේම මසුරු සිතක තියෙන අඳුරු බව, පටු බව, ඒ බමුණා කළ කී දේවලිනුත් අපට පෙනුනා. මෙයින් අපට පෙනෙනවා, මේ සිතම හැම දේටම ප්‍රධාන බව. ඊළඟට ඒ වගේම තමයි දැන්, ඒ හිතක් අඳුරුවීම, ඊළඟට ඒක ආලෝකමත් වීම, කියන දේවල්. මෙන්න මේක ඉතාමත්ම ගැඹුරින් කල්පනා කළ යුතු දෙයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, මේ අඳුරු ධර්ම කියලා කොටසක් තිබෙනවා, ඊළඟට ඒ වගේම ආලෝක ධර්ම, ආලෝකවත් ධර්ම කියලා කොටසකුත් තිබෙනවා. “කණ්හං ධම්මං විප්පහාය - සුක්කං භාවෙථ පණ්ඩිතො” කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. ‘නුවණැත්තා කළු ධර්ම අතහැර සුදු ධර්ම වඩන්නේය.’ අඳුරු ධර්ම, ඒ කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ, මේවා කළු ධර්ම. අලෝභ, අද්වේශ, අමෝහ කියලා කියන ඒවා සුදු ධර්ම. මේවා ආලෝකවත් ධර්ම. ශුකලධර්ම කියලා කියනවා. මෙන්න මේ විදියට අපට පේනවා අර බමුණා අඳුරු ධර්ම නිසා සිත අඳුරු කරගෙනයි තිබුනේ. ඊළඟට අනිත් අතට අපි කල්පනා කරලා බලන කොට මේ මට්ටකුණ්ඩලී කුඩා දරුවා අර බමුණා තරම් පොහොසත් නෑ. මැරෙන අවස්ථාවේ ඉතාම දුගීව, අසරණව, කණේ එල්ලපු රත්කරන් කැලි දෙක විතරයි තිබුනෙ. නමුත් අර තරම් අර දිව්‍යාත්මභාවයක් ලැබුවේ කොහොමද? සිතෙන් පොහොසත් උනා. සිත පොහොසත් කර ගත්තා. කොහොමද සිත පොහොසත් කර ගත්තේ? ඒ කාරණය ගැන අපි හොඳට කල්පනා කරලා බලන්ට ඕනෑ. සිත පොහොසත් කර ගත්තේ ලෝකයේ ඇති අතිශයින්ම උතුම් වූ, අග්‍ර වූ රත්නය, සිතට අරමුණු කර ගත්තා. ලෝකයේ කියෙන සියළුම රත්නයන් අතර බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි, අග්‍රයි, කියල බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඔය රතන සූත්‍රයේ එහෙමත් සඳහන් වෙනවා. ’යං කිංචි විත්තං ඉධවා හුරංවා සග්ගෙසු වා යං රතනං පණීතං න නො සමං අත්ථි තථාගතෙන’…… කියලා. ඔය විදියට සඳහන් වෙනවා. යම් රත්නයක් තියෙනවා නම් මැණිකක් තියෙනවා නම් ලෝකයේ - මෙලොව හෝ එහෙම නැත්නම් වෙන ලෝකයක හෝ නැත්නම් දිව්‍ය ලෝක වල හෝ – ඒ කිසිම රත්නයක් බුද්ධරත්නය – තථාගතයන් වහන්සේ - තරම් වටින්නේ නැත. ඒ වගේම, ’යං කිංචි රතනං ලෝකෙ විජ්ජති විවිධා පුථු රතනං බුද්ධසමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තෙ’ කියලා ආශිර්වාද ගාථා එහෙම තියෙනවා. යම් තාක් ලෝකයේ විවිධ රත්නයන් තියෙනවා නම් ඒ බුද්ධ රත්නය හා සමාන රත්නයක් නැත. එපමණක් නොවෙයි බුදු පියාණන් වහන්සේටම ප්‍රකාශ කරන්ට සිද්ධ උනා - ලෝකයා අඳුනන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ - ඒ තථාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ අග්‍රම පුද්ගලයා බව. අග්ගප්පසාද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා– ‘යාවතා භික්ඛවේ සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤීනො වා තථාගතො තෙසං අග්ගං අක්ඛායති අරහං සම්මා සම්බුද්ධා. යේ කිසිවේ බුදෙහෝ පසන්නා අග්ගය තෙ පසන්නා අග්ගො ඛෝ පන පසන්නානං අග්ග විපාකො හෝති’ මහණෙනි යම්තාක් අපා, දෙපා, සිව්පා, බහුපා, රූපී, අරූපී, සඤ‍්ඤි, අසඤ්ඤි, නෙවසඤ්ඤී නාසඤ්ඤී කියලා කියන ඒ සත්ව කොට්ඨාශ වෙත්ද . ඒ සියළුම සත්ත්වයින් අතර තථාගත අරහත් සම්මා සම්බුද්ධ කෙනෙකුත් අග්‍රවෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. මහණෙනි යම් කෙනෙකුත් ඒ අග්‍රවූ බුදු කෙනෙකුත් කෙරෙහි සිත පහදවා ගත්තාහුද, ඒ සිත පහදවා ගත්තේ ලෝකයේ අග්‍රවූ පුද්ගලයා කෙරෙහියි. ඒ අග්‍රවූ කෙනෙකුත් කෙරෙහි - අග්‍රවූ වස්තුවක් කෙරෙහි සිත පහදවා තැබීමේ විපාකයත් අග්‍රයි,” කියලා ඒ විදියට බුදු පියාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේ ප්‍රකාශ කොට වදාළා. එයින් අපට පෙනෙනවා බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම කොයි තරම් ආනිශංස සම්පන්නද කියලා. මේ මොහොතකට සිත පහදවා ගත්ත පමණින් මෙපමණ සම්පත්තියක් ලබන්නේ කොහොමද කියලා අපි සමහර විට කල්පනා කරනවා. මේ කාලේ විශේෂයෙන්ම, සිතට වඩා බාහිර දේවල් වලට සිත යන කාලයක් මේක. ඒවායේ ලොකුකම, විශාලකම, පුදුම බව. මේවා ගැන ලෝකයා බොහොම කතා කරනවා. මේ නොපෙනෙන හිතේ ඇති ශක්තිය, එක මොහොතක පවා හිතක ඇති කරගන්න පුළුවන් ශක්තිය, ගැන සැක උපදවා ගන්නවා. මෙච්චර දෙයක් කරලා කොහොමද මේ වගේ ලොකු සම්පත්තියක් ලබන්නේ කියල. නමුත් අපි හිතලා බලන්න ඕන මේ සිතේ ක්‍රියාකාරිත්වය බොහොම ක්ෂණිකයි, බොහොම ශීඝ්‍රයි. මේ ශීඝ්‍රව ක්‍රියා කරන සිත තුළ එක මොහොතක ඇතිකර ගන්න පුළුවන්, විශාල ආනිශංස ගෙන දෙන ශක්තියක්. දැන් මෙතන බුදුපියාණන් වහන්සේ කෙරෙහි අර සුළු මොහොතකටයි, එහෙම නැත්නම් සුළු වෙලාවකයි, අර මට්ටකුණ්ඩලී සිත පහදවා ගත්තේ. එපමණක් ඕන නෑ. දැන් ඉතාම සුළු මොහොතක්, අපි මේ ක්‍ෂණයක් කියන අසුරක් ගහන වෙලාව වගේ සුළු වෙලාවකට හරි, සිතේ යම් කිසි ප්‍රසාදයක්, විවරයක් ඇති උනා නම් අන්න ඒ තුළින් හුඟක් විශාල වටිනාකමක් ඇති ආනිශංසයක් නෙලා ගන්න පුළුවන්. දැන් මේ පින්වතුන් දන්නවා - ඔය මහා ඝනාන්ධකාර රාත්‍රියක් ගැන හිතලා බලමු. දැන් මේ කාලයේ තියෙන්නෙ වගේ මහා වැසි කුණාටු සහිත රාත්‍රියක්, අර පලන්න බැරි තරම් අඳුරක් තියෙන රාත්‍රියක් ගැන හිතලා බලමු. එබඳු ඒ රාත්‍රියක එක මොහොතකට විදුලි කෙටුවොත්, ඒ විදුලි කොටන වේලාවේදී, ඉතාම සුළු ක්‍ෂණයකින්, ඔන්න අවට තියෙන ඔක්කොම හොඳට පැහැදිලිව පෙනෙනවා. අන්න ඒ වගේ සිතේ විවරයක් ඇතිවෙනවා අර ඒ ගන්න ප්‍රසාද අරමුණ අනුව, සිත පහදවා ගැනීමේ අරමුණ අනුව. අර තරම් අර අඳුරු රාත්‍රියක, ඒ විදියට සුළු මොහොතක පහළ වෙන විදුලි එළියෙන් හුඟක් වැඩ ගන්න පුළුවන්. අතීතයේ එහෙම වැඩ ගත්ත අය ඉන්නවා. අතීතයේ කථාන්තර තියෙනවා, දැන් මේ කාලයේ වෙඩික්කාකාරයන් වගේ ඒ කාලේ දූනුවායන් තමන්ගේ දක්ෂකම් පෙන්නන්න කලේ (ඒක සඳහන් වෙන්නෙ මේ විදියටයි) දැන් මිය දුනුවාය තමාගේ දක්ෂකම පෙන්නල තෑගි දිනාගන්න, එහෙම නැතිනම් වාර්තා පිහිටුවන්න, ලැස්තිවෙලා ඊතලය ලැස්ති කරගෙන ඉන්නවා අඳුරු රාත්‍රියක. අර විදුලි කොටන වෙලාව එනකන්. එහා ඈත එල්ලලා තියෙනවා අශ්වයෙකුගේ වල්ගයකින් ගත්තු ඉතාමත් සියුම් කෙන්දක්. ඉතින් දැන් කරන්න තියෙන හපන්කම මොකක්ද? මේ අශ්ව ලෝමය පලන්න ඕන අර ඊතලෙන්. මේකට ලැස්තිවෙලා ඉන්නවා. විදුලි කොටනවත් එක්කම විදිනවා. මේක හරියට කලොත් ඔන්න ඒ තැනැත්තා දක්ෂ දූනුවායෙක්. ඉතින් මේක උපමාවකට කියනවා - අර ක්‍ෂණයක් තුළයි අර තරම් හපන්කමක් කළේ. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා කොතෙකුත් අපේ බෞද්ධ කවියන් එහෙම ප්‍රකාශ කරනවා “අඳුරෙහි අස් ලොම විඳිනට දුර දී විදුලිය පැහැ වැරදුන හොත් වර දී විදුලිය වන් මේ කය ලත් තැන දී සිදු නොකළොත් මතු සඟමොක් වර දී” - ලෝවැඩ සඟරාව -25 මේ අඳුරෙහි අශ්ව ලෝමයක් විදින මොහොතෙහි මේක හරියට කරගත්තොත් අන්න එතකොට පුළුවන් ඒකේ ආනිශංස නෙලා ගන්න. දැන් මේ ක්‍ෂණය ගැන මේ කාලේ බොහෝ දෙනා කථා කරනවා. මේ ජීවිතය තුළ, ක්‍ෂණිකව වැඩ කරන්ට ඕන කියලා. මේ ජීවිතය තුළ තියෙන ක්‍ෂණ ගැනයි අපි මේ කථා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ, ප්‍රකාශ කරනවා, මේ අපේ මුළු මනුෂ්‍ය ආත්ම භාවයම එක ක්‍ෂණයක් කියලා, එක මොහොතක් කියලා. ඒක හේතු සහිතවයි ප්‍රකාශ කරන්නේ. අපට නම් මේක ලොකු කාලයක් හැටියටයි හිතෙන්නේ. නමුත් මේ මනුෂ්‍ය ජීවිතය, අවුරුදු සීයකටත් වඩා අඩු ජීවිත කාලය, ඒ කල්ප ගණන් දිග බ්‍රහ්ම ආත්ම භාව සමග සංසන්දනය කරලා බලනකොට, සසඳලා බලනකොට, මේක එක ක්‍ෂණයක් වගෙයි. මේ මහා දීර්ඝ සංසාරයේ අවුරුදු කීපයක් ගත කරන මේ අපි ලොකුවට හිතන ජීවිතය, ඇත්ත වශයෙන්ම එක ක්‍ෂණයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් මනුෂ්‍ය ජීවිතයම, එක ක්‍ෂණයක් හැටියට හඳුන්වනවා. දැන් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නුම් කරනවා, මේ බුද්ධෝත්පාද කාලයේ ලබන මනුෂ්‍ය ආත්ම භාවය ක්‍ෂණයක් පමණක් නොවෙයි ක්‍ෂණ සම්පත්තියක්. ඉතාම දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ ක්‍ෂණයක් හැටියට හඳුන්වනවා - ක්‍ෂණ සම්පත්තියක්. බුද්ධෝත්පාද කාලයේ යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙන්න පුළුවන් විදියේ අවබෝධ ශක්තියක්, ඥාන ශක්තියක් ඇතිව ධර්මය අසන්නට පුළුවන් ප්‍රදේශයක, උත්පත්තිය ලැබුවා නම්, ඒකට කියනවා ක්‍ෂණ සම්පත්තිය කියලා. ඉතාම වටිනා ක්‍ෂණයක්. අන්න ඒ ක්‍ෂණය තමයි අර කවියා උපමා කරලා තියෙන්නේ. “විදුලිය වන් මේ කය ලත්තැන දී” කියලා කියන්නේ මේ මනුෂ්‍ය ආත්මභාවය. මේ මනුෂ්‍ය කයම, හරියට අර විදුලිය කෙටීමක් වගේ. විදුලි එලියක් වගේ ඒ තරම් සුළු මොහොතක් මේ ශරීරය පවතින්නේ, මේ ආත්මභාවය පවතින්නේ. අන්න ඒක නිසා මේ ක්‍ෂණය කියන එක අපි තේරුම් ගන්න ඕන, බෞද්ධයින් හැටියට මේ මුළු මනුෂ්‍ය ජීවිතයම එක ක්‍ෂණයක් හැටියට. එහෙම කල්පනා කළොත් මේ කුසල් සිත් ඇති කර ගැනීම, පින් කිරීම, කියන එක අර මට්ටකුණ්ඩලී කළා වගේ අවසාන මොහොත එතකල් බලා සිටිය යුතු දෙයක් නොවෙයි. මරණාසන්න මොහොතේදී පමණක් මේක කරහම පුළුවන් අපිට දිව්‍යලෝකෙ යන්න කියලා ඒ විදියේ වැරදි අදහස් ඇති කරගන්න නරකයි. දැන් සමහර විට මේ කාලෙ සමහර අය එහෙම කල්පනා කරනවා. අයථා විධියට ධනය රැස් කරගෙන නොයෙකුත් අපරාධ කරමින් සිටිනවා. අවසාන අවස්ථාවේදී සංඝයාවහන්සේ කෙනෙක් ගෙන්වලා බණ ටිකක් අහලා දිව්‍යලෝකෙ යන්න බලාපොරොත්තු වෙනවා. ඒක අර මට්ටකුණ්ඩලී අතීතයේ බුදුවරුන් ළහ පාරමී ධර්ම පුරලා දියුණු කෙනෙක් නිසා ඒ විදියට කරන්ට පුළුවන් උනාට එපමණකින්ම මේ හැම දෙයක්ම සාර්ථක වෙන්නෙ නෑ. ඇත්ත වශයෙන්ම අර මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඒ තරම් තත්ත්වයක් ලැබුවේ යම් කිසි ධර්මතාවක්, ඒ කර්මය පිළිබඳ යම් කිසි ගැඹුරු කාරණයක්, නිසයි. මොකද කර්මානුරුපව සත්ත්වයා ඒ ඒ තැන්වල උපදිනවා. නමුත් අර ආසන්න කර්මය කියලා කියන මරණාසන්න අවස්ථාවේ ඒ එන නිමිත්ත අනුව ඇති කරගත්තු කර්මය බොහොම බල සම්පන්නයි. එක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ මට්ටකුණ්ඩලීට ඒ ආසන්න සිත පිරිසිදු කර ගන්න, කුසල් කරන්න, අවස්ථාවක් දීමටයි ඒ වැඩම කළේ. නමුත් ඒ හපන්කම හැමෝටම කරන්න බෑ. සමහර විට ජීවිත කාලය තුළ කළ පාපකම් නිසා වෙන නිමිත්තක් ඉදිරිපත් වෙලා නරක තැනක උත්පත්තිය ලබන්නා සිද්ධ වෙනවා. අර දුනුවායා අර විදියට අස්ව ලෝමයක් විද්දේ දීර්ඝ කාලයක් ඒ විදියට යම්කිසි උත්සාහයක්, ඒ සඳහා පුහුණුවක් යොදලයි. එක පාරටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඉතින් මෙතන කියන්න තියෙන්නේ අපට - මෙතන හිතා ගන්න තියෙන්නේ – මේ මරණාසන්න අවස්ථාව, නැත්නම් වයෝවෘද්ධ අවස්ථාව, එනකන් සිටිය යුතු නෑ. මුළු මහත් ජීවිතයම එක ක්‍ෂණයක් හැටියට හිතලා, හැම තිස්සේම මෙන්න මේ සිත, පහන් සිත, මේ පැහැදුන සිත, පිරිසිදු සිත, ආලෝකවත් සිත, අප තුළ ඇති කරගන්න උත්සාහවත් වෙන්ට ඕනෑ. මොකද, අර කලු ධර්ම ඉදිරිපත් උනොත් අපි අන්ධකාරයකටයි වැටෙන්නේ. සුදු ධර්ම ඉදිරිපත් කර ගත්තොත් ඔන්න හොඳ තැනක උත්පත්තිය ලබනවා. එපමණක් නොවෙයි ක්‍රම ක්‍රමයෙන් අපට නිවනට ළං වෙන්න පුළුවන්. නිවන කියලා කියන්නේ ලෝභයයි, ද්වේශයයි, මෝහයයි කියන මේ කලු ධර්ම වලින් සිත මුදාගැනීමයි. එතකොට මෙයින් අපට හිතා ගන්නා පුළුවන් මේ ක්‍ෂණයක ඇති වටිනාකමත්, ඒ වගේම මේක නිතරම පුරුදු පුහුණු කළ යුතු දෙයක් බවත්. අර දුනුවායා මේ ගැන උත්සාහවන් වෙනවා වගේ බෞද්ධයා කියන කෙනා හැම තිස්සෙම සිත ගැන සෙවිල්ලෙන් සිටින්ට ඕන. මේ සිතේ පහළ වන ධර්ම - මේවා සිතේ පැහැදීමට හේතු වන දේවල් ද එහෙම නැත්නම් අවුල් වෙන දේවල්ද කියලා. දැන් පැහැදීම කියන වචනය – මෙතන මේ “පසන්න” කියලා කියන්නෙ පැහැදීම. මෙතෙන්දි මේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා පිළිබඳව සඳහන් වෙන්නෙ ඒ පැහැදුන සිතේ ආනිශංසයස්. පැහැදීම කියන එකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්, දැන් වැස්සෙන් පස්සේ වතුර ගලාගෙන යනකොට මඩ සහිත ඉතාමත් අප්‍රසන්න විදියට ගලාගෙන යන වතුරක් දැක්කහම අපේ සිතේ තත්ත්වය කොහොමද? ඊළඟට හොදට පැහැදුනු දියක්, පැහැදිච්ච දියක්, දිහා බලනකොට අපේ සිත පැහැදෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ අරමුණක්, අග්‍ර අරමුණක්, අපේ සිතට එකතු කරගත්තම, අපේ සිතට ළං කර ගත්තහම, අපේ සිත පැහැදෙනවා. ඒක නිසා ශ්‍රද්ධාවත් එක්කම යන වචනයක් “පසාද” කියන එක. “සද්ධා පසනේනා” කියලා කියනවා. ශ්‍රද්ධාවත් එක්කම පැහැදීම යනවා. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉතාමත්ම වැදගත් දෙයක් බව අපට මෙයින් පෙනෙනවා. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති සිත විචිකිච්ඡාව , දෙගිඩියාව, සැකය - මේවා නිසා අඳුරු වෙලයි තියෙන්නේ. හරියට අර කැළඹුණු දියක් වගේ. බොරවුන දියක් වගේ, ඒ අයගේ සිත්. නමුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තා නම් ඒ එක්කම සිතේ ලොකු පැහැදීමක් ඇතිවෙනවා. මේක අර පින්වතුන්ට එදිනෙදා ජීවිතයේ පවා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ මට්ටකුණ්ඩලී දිව්‍ය සුත්‍රයා බුදු පියාණන් වහන්සේගේ රූප කාය, ශරීරය, දැකලයි ඒ සිත පහදවා ගත්තේ. දැන් අපට ඒ බුද්ධකාය දකින්නට ලැබෙන්නෙ නැතත් අපට ධර්මකාය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ ගුණ ශරීරය අපට දකින්න පුළුවන්. ඒක නිසා මෙතනින් මේ, අපට විශේෂයෙන්ම හිතාගන්නා තියෙන්නෙ ‘බුද්ධානුස්සති භාවනාවේ’ වටිනාකමයි. බුදු ගුණ මෙනෙහි කිරීම. බුදුගුණ තුළින් අපට බුදු පියාණන් වහන්සේ දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ නවගුණ පාඨය මෙනෙහි කරලා ඒ අරහං ආදී ඒ ගුණයන් ගැන හිත යොදවලා තමන්ගෙ හිතට ගැලපෙන යම් කිසි ගුණයක් මතුකරගෙන “අරහං අරහං අරහං” කියලා එහෙම නැත්නම් ‘බුද්ධෝ’ ‘සම්මා සම්බුද්ධෝ’ ආදී යම් කිසි පදයක් නිතර භාවනාව වගේ සිතට මතුකගරගන්න පුරුදු කර ගත්තොත්, ඒ තුළින් ලොකු ප්‍රසාදයක්, එදිනෙදා ජීවිතයේ කටයූතු වලට ආලෝකයක්, ලබාගන්න පුළුවන්. දැන් අර ගාථාවේ ප්‍රකාශ උනා, පසන්න සිතකින්, ප්‍රසාද වූ සිතකින් “භාසතිවා කරෝති වා” යම් කිසි කෙනෙකුත් යම් කිසි වචනයක් ප්‍රකාශ කරනවා නම්, එහෙම නැති නම් ක්‍රියාවක් කරනවා නම්, ඒ තැනැත්තාගේ හෙවනැල්ල වගේ එහි සැප විපාක පසු පස එනවා කියලා. අපි පාවිච්චි කරන වචනයට, කරන ක්‍රියාවට, ආලෝකය ලබලා දෙන්නේ අපේ මේ හිතයි. මේ හිත පැහැදෙනකොට හිතේ ලොකු ආලෝකයක් ඇතිවෙනවා. අර ඝනාන්ධකාර රාත්‍රියක විදුලි එළියක් වගේ. එක නිසා තුණුරුවන් කෙරෙහි ප්‍රසාදය නිතර හිතට මතු කරගන්න නම් බුද්ධානුස්සති භාවනාව වශයෙන් බුදු ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්ට ඕන. වාහනයක ගමන් කරන අතරේ, නගරයක සිටින අතරේ, දැන්නම් කොයි වෙලාවෙද කියලා නෑ. මරණය-මරණාසන්න වෙලාවෙයි කියල හිතාගන්න ඕන දැන් හැම වෙලාවම. දැන් මේ කාලේ ගැන විශේෂයෙන් හිතනකොට සමහර කෙනෙක් මරණාසන්න අවස්ථාව කියලා හිතන්නේ අවුරුදු අසූවක් අනූවක් විතර වෙලා, ඒ අර දූ දරුවන් වට වෙලා ඉන්න අවස්ථාවක්, මේ මරණාසන්න අවස්ථාව හැටියට කල්පනා කරන්නේ. දැන් අපි පාරට බහින්න ඕනෙ මරණාසන්න අවස්ථාවෙයි කියලා. ඒ තරම් තත්වයක් තියෙන්නේ. අන්න ඒක නිසා සිත ගැන වඩාත් සැළකිලිමත්ව සිටින්ට ඕන. නරක වෙලාවක, ඒ හිත නරක් උනු වෙලාවක, හිත අඳුරු උන වෙලාවක, බොර උනු වෙලාවක, කලුරිය කළොත් - මරණයට පත් උනොත් හදිසියේ - ගිහිල්ලා උපදින්නේ කොතනද? අඳුරු තැනක. එක්කෝ නිරයේ, එක්කෝ ප්‍රේත ලෝකයේ, යක්ෂ ලෝකයේ. අපි කිව්වා නේ අර කලු ධර්ම සුදු ධර්ම කියලා කොටස් දෙකක් තිබෙනවා කියලා. මේ සිතෙන් තිබෙනවා පක්‍ෂ දෙකක්. ඉතින් ලෝකයේ තිබෙන පක්‍ෂ කෙසේ වෙතත් මේ සිතේ තිබෙන පක්‍ෂ ගැන අපි උනන්දු වෙන්න ඕන, මොකද අපේ සිතයි අපි අරගෙන යන්නේ යන තැනකට. ඒක නිසා මේ සිතේ තිබෙන කලු පක්ෂය තමයි ලෝභ දෝස මෝහ.මේ කළු පක්ෂයෙ ලොකුවට පෙනෙන තුන්දෙනයි ඔය. ඔය තුන්දෙනා ලෝභය, ද්වේශය, මෝහය. තව ඒවාට අතුරු ධර්ම රාශියක් තියෙනව. ඊළඟට අර නිවනට උපකාර වන සුදු ධර්ම, තමයි අලෝභ, අදෝස, අමෝහ. මෙතන බැලූ බැල්මට දෙයක් නෑ වගේ, අලෝභ කියලා කියනකොට, මොකක්ද මේ අලෝභ කියලා කියන්නේ? ඒක සමහර විට සිතා ගන්න අමාරුයි. මේ අලෝභ කියලා කියන්නේ ලෝභයෙන් වෙන්වීම. ලෝභයෙන් - වෙන්වීම සමහර විට, සුලු දෙයක් හැටියට සිතන්න පුළුවන්. මේක සුළු දෙයක් නොවෙයි. මේකට කියනවා විරති චෛතසිකය කියලා, වෙන්වීම, පිළිබඳ සිතිවිල්ල. මේ වෙන්වීම පිළිබඳ සිතිවිල්ල බොහොම ශක්ති සම්පන්නදෙයක්. දැන් මේකට ප්‍රධාන වශයෙන් උපකාරී වන දෙයක් නම්‍යි ශීලය. ශීල සමාදානය. සිල් සමාදන් වෙනවා. දැන් මේ අවස්ථාවේ මේ පින්වතුන් ඔය සතුන් මැරීමෙන් වෙන් වීමට, ‘වේරමණී - ඇත්ත වශයෙන්ම සිල් සමාදන් වීමේදී ‘වේරමනී’ කියන වචනය හොඳට කියන්නට ඕන. ’පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’, ප්‍රාණඝාතයෙන් පරපණ නැසීමෙන්, සතුන් මැරීමෙන් වෙන්වීම පිළිබඳ ශික්‍ෂාපදය මම සමාදන් වෙනවා. පිළි අරගෙන මේක ක්‍රියාත්මක කරනවා කියලා තමන්ටම වෙන එක්තරා පොරොන්දුවක් මේක. සංඝයාවහන්සේලා ඉදිරියේ මේක ප්‍රකාශ කළාට මොකද, මේක ඇත්ත වශයෙන්ම තමන්ටම වෙන පොරොන්දුවක්. එහෙම නැත්නම් තමන්ගේ හිතට දානවා මම මෙන්න මේ විදියට අද දවස ගත කරනවා. ප්‍රතිපත්තිය උඩ. එතකොට එහෙම හිතාගත්තු කෙනාට ඊළඟට අපි හිතමු, යම් කිසි අවස්ථාවක් එළඹෙනවා, එක්කෝ ආහාර සඳහා, විනෝදය සඳහා, එහෙම නැත්නම් තරහ මරහ පිරිමසා ගැනීම සඳහා, කෙනෙක් මරන්න, සතෙක් මරන්න හිතෙනවා. අන්න ඒ සිතිවිල්ල එනවත් එක්කම ඒක එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අදෝස කියන එකෙන්. මෛත්‍රීය මතුකර ගන්නවා, කරුණාව, දයාව, අවිහිංසාව, මතුකරගෙන ඒ වගේම තමන් සමාදන් වූ ශීලය සිහිපත් කරලා එයින් වෙන් වෙනවා. මේ නිදර්ශනයක් හැටියට ගත්තහම. ඔන්න ඔහොම ඒ අවස්ථාව ඉතාම වටිනා අවස්ථාවක්. හිත වෙන් කරගන්න පුළුවන් ශක්තිය. ඒක තමයි විරති චෛත්‍සිකය කියල කියන්නේ. සම්ප්‍රාප්ත විරති කියලා කියනවා. ඒ කියන්නේ පාප කර්මය කරන්ට අවස්ථාව ආවා. නමුත් කරන්නේ නෑ. අත අකුලා ගන්නවා. දැන් හොරකමක් කරන්න - හොඳට වටිනා දෙයක්, වෙන කෙනෙකුගේ දෙයක් බවත් දන්නවා. ඒක තියෙනවා ඉදිරිපිට, කවුරුවත් නෑ. වට පිට බලන එක විතරයි කරන්න තියෙන්නේ. ඊළඟට හිමිහිට අත ඒ පැත්තට දිගු කරන එකයි. නමුත් අර හිත කියනවා ඒ අවස්ථාවේ ‘ඒක කරන්න එපා’ කියලා. එහෙම හිතෙන්නේ මොකද? අන්න අර සීලය සමාදන් වීම නිසා. “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.” ඔන්න ඔය අනුව පෙනෙනවා අපට මේ සිල් සමාදන් වීම කියන එක සුළු පටු දෙයක් නොවෙයි. ඒක නිකන් මේ චාරිත්‍ර මාත්‍රයක් හැටියට - දැන් හැම රැස්වීමකදීම උත්සවයක් බෞද්ධ බව පෙන්නන්න සිල් සමාදන් වීම කියලා එකක් කියනවා. නමුත් මේකෙ ගැඹුර ගැන කල්පනා කරලා බලනකොට කොයි කරම් බලසම්පන්න වැදගත් දෙයක්ද? අපේ ජීවිතයේ පළවෙනි පියවර. එතකොට මෙන්න මේ විධියට - ඒකට කියනවා “තදඪග වශයෙන්” - සිත ඈත් කරගන්නවා කෙලෙස්වලින්. ඒ ඒ මොහොතට කුසල් සිතක් දාලා, අකුසල් සිත ඈත් කර ගන්නවා. තමා ළඟ කුසල් සිතක් එකතු වෙන්නත් ඕන මේකට. මෛත්‍රිය දියුණු කරගන්ට ඕනා ද්වේෂයෙන් ඉවත්වීමට. ලෝභයෙන් ඉවත් වීමට පරිත්‍යාගය - දානය පරිත්‍යාගශීලීත්වය, පරිත්‍යාග ගුණය, දියුණු කරගන්ට ඕනෑ. මෝහයෙන් ඉවත් වීමට අවබෝධය, නුවණ, කල්පනා කිරීම, නුවණින් කල්පනා කිරීම, මෙනෙහි කිරීම කියන මෙන්න මේවා, යමක තත්ත්වය හැටියට තේරුම් ගන්න නුවණින් මෙනෙහි කිරීම, කියන මේවා උපකාර කරගන්න ඕන. ඒක නිසා මේ අලෝභ අදෝස අමෝහ කිව්ව හැටියෙම එකපාරට මේක දෙයක් නෑ වගේ තේරෙනවා. නමුත් විග්‍රහ කරලා කල්පනා කරලා බලනවා නම් අර පිටතින් එන, ආගන්තුක වශයෙන් එන, සතුරු හැටියට එන, අකුසල් ධර්ම ඒවා මැඩලා, ඒවා පස්සට එලව ගන්න පුළුවන් ශක්තියක්, මෙතන කියන්නේ. විරති කියලා කියන්නේ. මේක එක පාරට කරන්න පුළුවන් හපන් කමක් නොවෙයි. ඒක නිසා නිරන්තරයෙන්ම අපි අර සිත භාවනා වශයෙන් දියුණු කර ගන්ට ඕනෑ. බුදු පියාණන් වහන්සෙත් භාවනාව ගැන ප්‍රකාශ කරන තැන වචන තුනක් සඳහන් කරනවා. “ආසේවති, භාවෙති , බහුලීකරොති” කියලා. යම් කිසි කුසල් අරමුණක් නිතර ඇසුරු කරනවා. දැන් අපි සිතමු බුද්ධානුස්සතිය නම් “අරහං අරහං අරහං”, එහෙම නැත්නම් ‘බුද්ධෝ’ කියලා යම් කිසි වචනයක් නිතර ආශ්‍රය කරනවා තමන්ගෙ ගේ යාළුවා වගේ, නිතර මතුකරගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා -ආසේවති. භාවේති කියන්නේ ඒක වඩනවා. දෙනුත් වරක් කියනකොට අර පළමුවෙනි වර කිවිවට වැඩිය හිතේ ලොකු ශක්තියක් එනවා. දහ වරක්, දහස් වරක්, ලක්ෂ කෝටි වරක්, ඒ ‘බුද්ධ’ කියන වචනය කියන කොට අර තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වඩ වඩාත් දියුණු වෙනවා. මේක මන්ත්‍රයක් හැටියට නිකම් කීම නෙවෙයි. හදවතත් ඒ එක්කම ක්‍රියාත්මක වෙන්ට ඕන. හදවතේ ප්‍රසාදයක් ඇති වෙන්ට ඕන. ඒ විදියටම තමයි අනිකුත් ඒවා මෛත්‍රී වඩනව නම් ‘සුවපත් වෙත්වා’ කියන වචනයන්, ඔය විදියට තමන් යෙදාගන්නා භාවනා අරමුණු අනුව ඒක නිතර ඇසුරු කරන්ට ඕන. ඒකෙන් සිත වැඩි දියුණු කර ගන්ට උත්සාහවත් වෙන්ට ඕන -භාවනා. ඊළඟට තියෙනවා වචනයක් ‘බහුලිකම්ම’ කියලා - ‘බහුලීකරොති’ බහුල වශයෙන් කරනවා. ඒ කියන්නේ දවසක් දෙකක් පැයක් හමාරක් නෙවෙයි. බහුල වශයෙන්ම. තමන්ම උත්සාහවත් වෙන්න ඕන. තමන්ගේ එදිනෙදා ජීවිතයේ කොයි තරම් වැඩ කටයුතු තිබුණත් මේ තමන්ගේ හිතේ වටිනාකම යම් කිසි කෙනෙක් තේරුම් ගත්ත නම් - අපි මේ කය ගැන මේ තරම් වෙහෙසෙනවා. මේ ශරීරය පෝෂණය කරන්න, ශරීරය නාවන්න හෝදන්න, මේක සරසන්න, මේ හැම එකක්ම. මේ ‘දමාලා යන නරක කුණු කය’. මේකට කොයි තරම් අපි සාත්තු කරනවද? නමුත් දවසේ ඉතාම සුළු වේලාවක් වත් සිතේ වටිනාකම ගැන හිතන්නේ නෑ. මේ හිත තමයි උපකාර වෙන්නෙ මේ සංසාරයෙන් මිදීමටත්, ඒ වගේම යම්කිසි සුගති තත්ත්වයක්, ඇති කර ගැනීමටත්. එහෙම කල්පනා කරනවා නම් කෙනෙක් අන්න භාවනාව ගැන උනන්දු වෙනවා. අර ආසේවති, භාවේති, බහුලීකරොති, කියාපු ආකාරයට යම්කිසි කුසල් අරමුණක් නිතර සිතට මතුකරගෙන ඒකත් එක්ක ජීවත් වෙන්ට ඕනා. ඒක අපහසු දෙයක් අමාරු දෙයක් හැටියට මුලදී වැටහුනත්, පුරුදු උනහම තමනට ඒක නිරායාසයෙන්මවගේ නිරුත්සාහයෙන් කරන්න පුළුවන් - ඉබේම වගේ. දැන් අර කණ්ණාඩි කුට්ටමක් පළමුවෙනි වරට දාගත්තහම මහ කරදරයක්. නමුත් ටික දවසක් යනකොට මේක බොහොම පහසුවෙන්, ඒ කණ්ණාඩියක් එක්කම වැඩ කටයුතු කරන්න පුළුවන්. නිතර ටික දවසක් ගියහම ඒ කණ්ණාඩිය ඇසේ තියාගෙන “කෝ කණ්ණාඩිය” කියලා බලනවා. මොකද මේ? ඒ තරමට අර කණ්ණාඩිය තමන්ගේ ශරීරයේ කොටසක් බවට පත් උනා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ භාවනා අරමුණත්. එතකොට අර බුද්ධානුස්සතිය වඩපු තැනැත්තාට අනතුරක් එන වෙලාවට - දැන් මේ කාලෙ සමහර විට “බුදු අම්මේ” කියලා කියන්නේ. ඒ අතීත චාරිත්‍රය අනුව අපේ සමාජයට බුදු කියන වචනය, එකතුවෙලා තියෙනවා. නමුත් ඒක ඒ විදියට වේදනාවක් ආවාම ඉබේ කියවිල්ලක් නොවෙයි. මුළු හිතෙන්ම - අර මට්ටකුණ්ඩලී අර තත්ත්වය ලැබුවේ මුළු හිතෙන්ම හිත පහදවා ගැනීමෙන්, මේක නිකම් චාරිත්‍රයක් හැටියට හරි, මන්ත්‍රයක් හැටියට හරි, කීමෙන් නෙවෙයි. අන්න ඒ විදියට කල්පනා කරන්න ඕන. මේ හැම කතාවකින්ම තමන්ට ගන්ට පුළුවන් උපරිම ප්‍රයෝජනය කල්පනා කරලා ඒක තමන් නෙලාගන්න උත්සාහ වෙන්ට ඕන. පුළුවන් උපරිම ප්‍රයෝජනය කල්පනා කරලා ඒක නමන් ලෝගන්න, උත්සාහවත් වෙන්ට ඕන. දැන් මේ ගාථාවේ කියාපු කාරණා අනුව අපට පෙනෙනවා අපි පාවිච්චි කරන වචනය, කරන ක්‍රියාව, මේ හැම එකකටම, අප හිතම ප්‍රධාන වෙන බව. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇති විශේෂත්වය ඒකයි. මේ කාලයේ ඔය නොයෙකුත් විද්‍යාත්මක චින්තන ක්‍රම තියෙනවා. මිථ්‍යාදෘෂ්ටි අනුවයි ඒවා සකස් වෙලා තිබෙන්නේ බොහෝ විට. මොකද, මේ භෞතික දේටයි, බාහිර දේටයි, මුල් තැන දෙන්නේ. හොඳට පෙනෙන නිසා, හොඳට වර්ණ සම්පත්තිය ඇතිව තිබෙන නිසා, අපි ඒවාට රැවටෙනවා. නමුත් බුදු පියාණන්වහන්සේ සත්‍යතාව පෙන්නුම් කරලා දීල තියෙනවා. මේ දීර්ඝ සංසාරයේ අපේ මේ ගමන, මේකට ප්‍රධාන වෙන්නේ, පෙරටු වෙන්නේ - මේ අපේ කර්මවලට හොඳ හෝ නරක හෝ වීමට උපකාර වෙන්නේ - මේ අපට පහළ වෙන සිතයි. “මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා” එපමණකින්ම නොවෙයි අර සිතින්ම නිර්මාණය වෙලා තියෙන එක. දැන් මේ කතාන්තරය අනුව ඉතාමත් හොඳින්ම පැහැදිලි වෙනවා. හිතෙන්ම නිර්මාණය උනා අර මට්ටකුණ්ඩලීගේ ඒ දිව්‍ය ශරීරය. ඒක මනුෂ්‍යයින්ට පෙනුනා. ඒ අර අවසාන අවස්ථාවේ බමුණගේ පුතා මේ විදියට බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍රයකින්, මේ විදියට මේ රන් අපරණ සහිත දිව්‍ය ආත්ම භාවයක් ලැබුවා නේද කියලා, ඒ අවස්ථාවේ සිටි සත්ත්වයින්ට පෙනී ගියා. ඒක නිසා තමයි අර විදියටම ඒ ශ්‍රද්ධාව තුළින්ම අනිකුත් ඒ අවශ්‍ය ධර්ම හිතේ එක් රැස්වෙලා මාර්ග ඵල අවබෝධය ලබා ගත්තේ. අන්න ඒක නිසා අපි මේ සුළු හැටියට සිතන මේ කථා ප්‍රවෘත්තියක් තුළ ඉතාමත්ම වටිනා ගැඹුරු ධර්ම අඩංගු වෙලා තිබෙනවා. එතකොට ඒ එක් එක් මොහොතකට සිතේ විවරයක් ඇති කර ගැනීම. ශීලාදී ගුණ ධර්ම රැකීම තුළින් කෙරෙන්නේ ඒකයි. තදංග වශයෙන්, මේ සිත පිරිසිදු කර ගැනීම කර ගැනීම, එහෙම නැත්නම් පහන් කර ගැනීම. මෙය දියුණු කර ගැනීම පිළිබඳ උත්සාහයේ අවස්ථා තුනක් තියෙනවා. ධම්යේ සඳහන් වෙනවා තදංග, වික්ඛම්භන, සමුච්ඡේද කියලා. දැන් ශීලයෙන් කරන්නේ ශීලයක් - ඒ ශික්ෂා පද රැකීමේදී ඒ ඒ මොහොතට කුසල් සිතක් ඉදිරිපත් කරලා අර අකුසලය පන්නලා අරිනවා. ඊළඟට ඊට වැඩිය ටිකක් තහවුරු වුන විදියේ ඊටත් වඩා දියුණු අවස්ථාවක් තමයි සමාධිය කියලා කියන එක. ඒකත් මෙන්න මේ විදියට දැන් භාවනාව දියුණු කරනවා නම් බුද්ධානුස්සතිය ආදියෙන්, දුවන හිත, ඒ ඒ දේවල් වලට අරමුණු වලට දුවන හිත, අර විදියට පාලනය කරගත්තා නම් යම් කිසි හොඳ කර්මස්ථානයක් තුළින්, “සුවපත් වෙත්වා” කියන වචනයෙන් එහෙම නැත්නම් ‘බුද්ධො’ ‘අරහං’ ආදී යම්කිසි භාවනා කමටහනක් තුළින් - ටික කලක් යනකොට හිත තැන්පත් වෙනවා. තැන්පත් වීම, ඒකට කියනවා සමාධිය කියලා. හිත අඳුරු කරන ධර්ම නීවරණ ධර්ම කියලා ධර්මයේ සඳහන් කරනවා. කාම සිතුවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත අලස ගති, ඊළඟට තව නොයෙකුත් කුකුස් නොසන්සුන් ගති සැක මේ හැම එකක්ම යටපත්වෙලා, අර බොර යටපත් වෙලා විලක වතුර පෑදෙනවා වගේ හිත පැහැදුනු අවස්ථාවක් එනවා. ඒක සමාධිය කියලා කියනවා. ඒකත් මේ භාවනා කර්මස්ථානයක් තුළින් කෙනෙකුට අත් දකින්න පුළුවන් අවස්ථාවක් ඒක අරිට වඩා සිතේ පහන් බව ඇති උන ඉතාම විශේෂ අවස්ථාවක්. ඊළඟට අවසාන වශයෙන් ඊටත් වඩා ගැඹුරට යන අවස්ථාව තමයි සමුච්ඡේද කියලා කියන්නේ. හිතේ තිබෙනවා සංසාරයේ දිගට අරගෙන ආපු ඒ අනුසය ධර්ම කියන බරපතළ කෙලෙස්. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒවා වියලවන්න, ඒවා නැතිකරන්න නම් ප්‍රඥාව වඩන්න ඕන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, වශයෙන් මේ මුළු ශරීරය, මේ ජීවිතය ගැන කල්පනා කරලා විදර්ශනා වඩලා, යම් කිසි අවස්ථාවක සිත ආලෝකවත් වෙනවා. ප්‍රඥාවෙන් ආලෝකවත් වෙනවා. ඒකට උපකාර වෙන ධර්ම තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ කියන ආකාරයට සති සම්ප්‍රජානය, සතිය දියුණු කර ගැනීම, යෝනිසෝමනසිකාරය නුවණින් මෙනෙහි කිරීම - අන්න ඒ විදියට මෙනෙහි කරලා ඊළඟට ඒ ප්‍රඥාව වැඩෙන ආකාරයට භාවනාව දියුණු කරා නම්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රි ලක්ෂණය වැඩුවා නම්, ඒ තැනැත්තාට අර මාර්ග ඵල අවබෝධ අවස්ථාවේදී විදර්ශනා ප්‍රඥාව තුළින් අර සංසාරයේ අප දිගට ගෙනයන ඒ අකුසල් වල, එහෙම නැත්නම් ඒ ක්ලේශ ධර්මවල, යට තට්ටුවත් විනාශ කරන්න පුළුවන් ශක්තියක් හිතෙන්ම ඇති කර ගන්න පුළුවන් වෙනවා. එතකොට ශීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ, මේක තමා ශාසනය, මේකයි අපට අයිති. බුද්ධ ශාසනය කියන එක, දැන් බොහෝ දෙනා නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. නමුත් බුද්ධ ශාසනය කියන්නේ ඇත්ත වශයෙන්ම ශීල, සමාධි, ප්‍රඥා තමන්ගේ චිත්ත සන්තානය තුළ වගා කර ගැනීමයි. ඒකට උපකාර වෙන දේ තමයි, පළමුවෙන්ම අවශ්‍ය කාරණය තමයි, මේ අපේ සිතේ ඇති වටිනාකම, මේ හැම දෙකටම සිත පෙරටුවෙන බව, සිතම ශ්‍රේෂ්ඨ වෙන බව, සිතෙන්ම මේවා නිර්මාණය වන බව, අපි තේරුම් ගැනීම. ඒ අර දිව්‍ය ආත්ම භාව ගැන ඉතාමත්ම ප්‍රකටයි ඒවා හිතෙන්ම නිර්මාණය වන හැටි. වෙනෙකක් තබා, අපි එදිනෙදා කල්පනා නොකරට, අපි හිතමු ඔය දැන් කළයක් වගේ දෙයක් හදන කුඹලා, කුඹල් කරුවා, ඒ කළය පිළබඳ යම් කිසි චිත්‍රයක් සැලැස්මක් ඇතිවයි, ඒ අනුව අර මැටි පිඬ අරගෙන කළයක් මවන්නේ. ඒ වගේම මේ ඉදිරිපිට තියෙන හැම දෙයක්ම යම් කිසි කෙනෙක් නිෂ්පාදනය කළා නම්, ඒ නිෂ්පාදනය කිරීම පිළිබඳව පළමුවෙන්ම ඇති වන සංඥාව ඇති වන්නේ හිතේ. යම් කිසි සැලැස්මක් ඇතිවෙනවා. ගොඩනැගිල්ලක් හදන්න ගියත් එහෙමයි. එතකොට මේ සැලැස්ම ඇති උනේ කොතනද? හිතේ, ඒක පස්සේ අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන මේ සතර මහා භූත ධම්යන් උපකාර කරගෙන රූපයක් හැටියට මතු උනාට පස්සේ ඔන්න ඊළඟට ඒකට රැවටෙනවා. මනුෂ්‍යයින් හිතනවා මේක තමයි ලොකු දේ කියලා. නමුත් මේකට යටින් තියෙන මේ සැලැස්ම ගැන බොහෝදෙනා කල්පනා කරන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ කළේ අන්න ඒ ටික මතක් කරලා දීම ලෝකයාට. ඒ තුළින් නමයි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා නුවණින් කල්පනා කරන්ට ඕනෑ. මේක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ අර නුසුදුසු දේට, එහෙම නැත්නම් අනියම් දේට, වැරදි දේට, මුල් තැන දීමයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ, හරි දැක්ම කියලා කියන්නේ, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්ම මතුකර ගැනීමයි. එතකොට මේ ගාථා ධර්මය අනුව අපි කල්පනා කරන්ට ඕන. තම තමන්ගේ ජීවිත ගැන කල්පනා කරන්ට ඕන - ඒ වයස් සීමාවක් නැතිව. මම මගේ ජීවිතය කොහොමද ගෙනියන්නේ. ලෝකයා කියන හැටියටද, සමාජය යන ආකාරයටද, එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයටද කියලා. එහෙම කල්පනා කරලා තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය යම් සැලැස්මක් සකස් කරගන්න ඕන. මේ සැලැස්ම තුළ ශීලයට තැනක් තියෙන්ට ඕනෑ. සමාධියට තැනක් තියෙන්ට ඕනෑ. ප්‍රඥාවට තැනක් තියෙන්න ඕනෑ. තැනක් කියලා කියන්නේ ඒවායේ වටිනාකම් තේරුම් අරගෙන ඒවා මතුකර ගන්න පුළුවන් විදියට තමන්ගේ එදිනෙදා ජීවිතය ගතකරන්ට ඕන. දැන් මේ අවස්ථාවේ සිල් සමාදන් උනා ආජීවෂ්ටමක ශීලය. ඒක තුළින් මේ පින්වතුන්ට පුළුවන් තදංග වශයෙන් සිත මුදාගන්න. විදුලිය එළියෙන් අශ්ව ලෝම විදින්නා වගේ, ඒ සුළු සුළු අවස්ථාවල, ඉදිරිපත් වෙන අකුසල්, පවක් කරන්නට හිත එන අවස්ථාවල, ඔන්න තමන්ගේ ශීලය ඉදිරිපත් කරගෙන ඒක පන්නලා අරිනවා. ඊළඟට යම් සිසි කෙනෙක් සමාධි ශක්තිය දියුණු කරගත්තා නම් ඊටත් වඩා දීර්ඝ කාලයක් තමන්ගේ සිතේ පැහැදීම, ප්‍රසන්න බව, ආලෝකය, තමන්ට අත්දකින්න පුළුවන්. ඊලඟට මාර්ග ඵල අවබෝධයෙන් - සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ග ඵල අවබෝධයෙන් යම් කිසි කෙනෙක් ප්‍රඥාව දියුණු කරගෙන විදර්ශනා ඥාණ දියුනු කරගෙන ඒ සංසාර විමුක්තිය ලැබුවා නම් අන්න ලෝකයේ තිබෙන ඉතාමත්ම වටිනා තත්ත්වය, තමන්ගේ හිතේ ඉතාමත්ම පිරිසිදු තත්ත්වය - අත්දකින්ට තමන්ට පුළුවන් වෙනවා. අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරන්ට ඕන මේ සම්බුද්ධ ශාසනයෙන් වැඩගන්ට, අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩ ගන්ට. මේක මේ ඉතාමත්ම දුර්ලභ දෙයක්, දෙවියන් පවා සමහර විට කියනවා මේ මනුෂ්‍ය ආත්ම භාවය, මේ මනුෂ්‍ය ලෝකය, තමයි නිවන් දකින්ට හොඳම තැන කියලා. සුළු කෙටි කාලයක් නමුත් මේ කාලය තුළ හරියට වැඩගත්තොත් මේ මනුෂ්‍ය සිත ඉතාමත්ම උසස් තත්ත්වයකට පත්කරන්ට පුළුවන්. බුදුවරු මනුෂ්‍ය ලෝකයේම උත්පත්තිය ලබන්නේ එකයි. ඒ කියන්නේ බුදුකෙනෙක් මතුවා ලෝකයේම පහළ වෙන්නෙ ඒ හින්දයි. අන්න ඒ විදියට කල්පනා කරලා තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්ට, මේ හැම ධර්ම කථාවකින්ම තමන්ගෙජීවිතයට යම් කිසි ආදර්ශයක් ලබාගන්ට ඕනා සිතේ ඇතිවන ඒ කෙලෙස්, ක්ලේශ ධර්ම, ඒවා කළු හැටියට කල්පනා කරලා ඒවා පන්නා හැරීමට තමන්ගේ සිතේ අර ‘සුක්ක ධම්ම’ කියන ඒ කුසල ධර්ම වැඩි දියුණු කරගන්නඕන. පරිත්‍යාගශීලීත්වය, ඊළඟට මෛත්‍රිය - ඊළඟට ප්‍රඥාව, ධර්මාවබෝධය. දැන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීම තුළිනුත් සිත පහදවා ගන්න පුළුවන් වෙනවා. මොකද අපි ධර්මය තුළින් අපි බුදු පියාණන් වහන්සේ දකිනවා, ධර්මය අහනකොට තමන්ගේ සිතේ තියෙන සැක කුකුස් ඉවත් වෙනවා, දෙගිඩියාවල් ඉවත්වෙනවා, හිතේ පහන් බවක් ඇති වෙනවා. හිතේ පහන් බව ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒක තුලින් තමා ලෝකයේ යථා ස්වභාවය පෙනෙන්නේ, හිත අඳුරු වෙනකොට, මෝහයෙන් අඳුරු වෙනකොට, යථා ස්වභාවය පෙනෙන්නේ නෑ. ඒක නිසා තමන්ගේ වචන වැරදි වෙනවා, වචනත් ක්‍රියාවත් හැම එකක්ම අකුසල් පැත්තට, පව් පැත්තට, නැඹුරු වෙලා යනවා. අන්න ඒක නිසා මේ සංසාරය සාමාන්‍යයෙන් කෙලෙස් වලට බරව, අඳුරට බරව, යන ගමනක්. මේකෙන් ඉවත් වීමට නම් විශාල ශක්තියක් ඇති කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම කුසල අකුසල කියන වචන දෙකේ අර්ථය ගැන සලකළ බැලුවහම කුසල කියලා කියන්නේ දක්‍ෂවීමයි. අකුසල කියලා කියන්නේ අදක්ෂවීමයි. මේ සංසාර ගමනේ අපායට බරව යාම අදක්ෂවීමක්, සුගතිවලට බරව යාම දක්ෂවීමක්, ඊළඟට මේ සංසාරයේ දිගටම යන්ට සිදුවීම අදක්ෂ වීමක්. සසර දුක ඉක්මණින් කෙළවර කර ගැනීම දක්ෂ වීමක්. එහෙම කල්පනා කරලා බලනකොට අපි ඔය ලෞකික ලෝකෝත්තර කුසල කියලා කියන්නේ - මේ කුසල කියලා කියන්නේ දක්ෂ වීමයි දක්ෂ වීමයි. මේ දක්ෂ වීම අර දුනුවායා වගේ එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලයක් වඩන්න ඕන. අන්න ඒ නිසා මේ අද ඉඳලම හැම මොහොතක්ම උත්සාහවත් වෙන්ට ඕන - කාලය නැතෙයි කියලා හිතන්නේ නැතිව. එදිනෙදා ජීවිතයේ කාලය නැතෙයි කියලා කියනවා. නමුත් අපතේ යවන කාලයක් තියෙනවා මේ හැම දෙනාටම. ඒක හොඳට අඳුන ගන්න පුලුවන් සමහරවිට ධර්ම දේශනාවලදී එහෙම අහන්න නොලැබෙන නමුත් සමාජයේ නිතර අහන්න ලැබෙන වචනයක් තියෙනවා “රස්තියාදු වෙනවා” කියලා. මේ රස්තියාදු වෙනවා කියන්නේ හිතේ මළකඩ බැඳෙන වෙලාවක්, හිත අඳුරු වෙන වෙලාවක්. මේ රස්තියාදු වෙන වේලාවල් දැන් එදිනෙදා ජීවිතයේ ඔය බොහෝ විට නගර වල එහෙම අහන්ට ලැබෙනවා, “මම අහවල් කාර්යාලයට ගිහිල්ලා එතන රස්තියාදු උනා.” මඟ තොටේ රස්තියාදු වෙනවා. මෙන්න මේ අවස්ථාව ඉතාමත්ම හොඳ අවස්ථාවක් තමන්ගේ පුරුදු කර්මස්ථානය මතුකරගෙන - අපි සිතමු අර බුද්ධරත්නය, මේ සාක්කුවේ තියෙන මැණිකක් අරගෙන බල බලා සතුටු වෙන්න වගේ එබඳු අවස්ථාවල අර බුද්ධරත්නය, මෙතන ප්‍රකාශ කළ ඒ ලෝකයේ තියෙන අග්‍රම රත්නය, එළියට අරගෙන අනිත් අයට නොපෙනෙන ආකාරයට, ඒ අය කවුරුන් උදුරා ගන්නවය කියලා නෙවෙයි, ඒ අයට මේවා ප්‍රයෝජනයකුත් නෑ සමහර විට - නමුත් අර බුද්ධ රත්නය මතුකරගෙන - “බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ” එහෙම නැත්නම් “අරහං අරහං අරහං”, අන්න එතකොට එයා අර රස්තියාදු වෙන වේලාවෙන් ප්‍රයෝජනයක් අරන ගත්තා වෙනවා. එහෙම නැත්නම් “සුවපත් වෙත්වා” කියන තමන් ගත්තු යම් කිසි කර්මස්ථානයක්. එහෙම නැත්නම් තමන්ගේ ආශ්වාස-ප්‍රශ්වාසය ශරීරයන් එක්ක තියෙන, ඒකට තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඔන්න ඔය රස්තියාදු වෙන, අපතේ යන වේලාවල් ප්‍රයෝජනයට ගත්තොත් ඒ තැනැත්තා දන්නෙම නැතුව භාවනානුයෝගියෙක් වෙනවා. අන්තිමට දන්නෙම නැතිව වගේ - අපි “දන්නෙම නැතුව” කියලා කියන්නේ ඒක එතරම් පුදුම විදියයි, මේ සිතේ පැවැත්ම - සමහර විට බලාපොරොත්තු නැති අවස්ථාවල සිත මෝරලා තියෙනවා නම් දන්නෙම නැතුව වගේ හරියට මාර්ගඵල අවබෝධය පවා ලැබෙනවා. අතීතයේ පුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවේ බණක් අහන කොටම කෙනෙක් රහත් උනා සෝවාන් වුනා කියල කියන ඒ කියමන සමහර විට මේ කාලේ බුද්ධිවාදයක් ගත්තු උගතුන් වැරදි ආකාරයට තේරුම් ගන්නවා. අපිටත් පුළුවනි ඒ විදිහට කරන්න කියලා. අර සංසාරයේ දීර්ඝ කාලයක් බුදුවරුන් වෙත එහෙම නැත්නම් ශාසනවල ඒ ගුණධර්ම පුරුදු පුහුණු කරලා ඉහළ මට්ටමට දියුණු කරලා යන්තම් පොඩ්ඩක් විතරක් ඕන වෙලා තිබුණු හිත් වලටයි ඒ විදියට ඉක්මනින් ඒ මාර්ගඵල අවබෝධය ලබාගන්න පුළුවන් උනේ. එපමණකින් හැම කෙනෙක්ම එහෙමය කියල හිතන්න නරකයි. නමුත් අපි ඒකෙන් පාඩම ගන්න තියෙන්නේ එබඳු ඒ සුළු වෙලාවක එහෙම තත්ත්වයක් කෙනෙකුට ලබාගන්න ඕන නම් ඒක දීර්ඝ කාලයක් පුරුදු කරන්න ඕන. පුහුණු කරන්න ඕන. ඒකට අවස්ථාව තමතමන්ගේ ජීවිත තුළින් මතුකර ගන්න උත්සාහවත් වෙන්ට ඕන. එතකොට මේ පින්වතුන් අද දින මේ වටිනා පොහොය දවසක මේ විදියට ආජීව අට්ඨමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් උනා. ඒක චාරිත්‍ර ධර්මයක් හැටියට නෙවෙයි නම් එක එකක් ගැන කල්පනා කරලා මෙතන තියෙන්නේ කය වචනය පාලනය පිළිබඳ යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් - මේ සීලය කියලා කියන්නේ. ඒක රැක ගැනීමට නම්, සිත උපකාර වෙන්ට ඕන. සිත උපකාර කරගන්නේ අන්න අර විරති චෛතසික කියලා, කියාපු අර වෙන්වීමේ සිත. මේ කියාපු කාරණා වලින් වෙනවීමේ සිත මතු කරගන්ට ඕන. මේ මේ දේවල් කරන්න එපා කියන කීම වඩා පහසුයි . අන්න ඒක නිසයි බුදු පියාණන් වහන්සේ මේ ශීලාදී ගුණ ධර්ම වල වේරමණී කියල වචනයක් යොදලා තියෙන්නේ. මේක දෙයක් නෑ. කියලා සමහරවිට උගතුන් කල්පනා කරනව. මේකෙ තමයි දෙයක් තිබෙන්නේ. ඒක නිසා මේ ආජීව අට්ඨමක ශීලය - මේ ශීලය තුළිනුත් ඒ සමාදන්වෙන අවස්ථාවේ හොඳට හිත යොදවලා කරනව නම් ඒ අවස්ථාවත් හිතේ ලොකු විවරයක් ඇතිවන අවස්ථාවක්. “මම මේ මේ දේ කළා. මෙයින් පස්සේ මම ඒවා කරන්නේ නෑ” කියලා හිතේ අධිෂ්ඨානයක් දාගන්නවා. ඒක ලොකු දෙයක්. උදෑසන ඒ අධිෂ්ඨානය ගත්තා නම්, ඒක එදා මුළු දවසේ රකින්න පුළුවන් වුනා නම්, ඒ තැනැත්තාට හිතේ ප්‍රසාදයක්, පැහැදීමක්, සතුටක්, ඇතිවෙනවා හැන්දෑවේ. අන්න ඒ විදිහට ශීලය. ඊළඟට ඒ වගේම එදිනෙදා ජීවිතයේ යම් කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කරගත්තා නම් ඒ අර කියාපු රස්තියාදු වෙච්ච වෙලාවල් වල එහෙම, අමාරුයි, වෙලාවක් නැතෙයි කියලා කියන්නේ නැතුව, ලැබෙන ලැබෙන ආකාරයට විවේක අවස්ථාවල් වල, විනෝද වෙලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවල් වල, අර භාවනා කර්මස්ථානය මතුකරගෙන සිත දියුණු කර ගත්තා නම්, අන්න එතකොට ඒ තැනැත්තා දන්නෙම නැතුව සමාධියෙනුත් වැඩෙනවා. යම් කිසි අවස්ථාවක හිත ධ්‍යානයටත් වැටෙන්න පුළුවන්. හුඟක්ම මහන්සි වෙලා වැඩ කටයුතු කරලා අර කර්මස්ථානය මෙනෙහි කරගෙන හාන්සි උනහම ඇඳේදිම සමහර විට ධ්‍යානය ලැබෙන්න පුළුවන්. අන්න එතකොට ඔය විදියට කරලා තමයි අතීතයේ ගිහි පින්වතුන් අර නකුල මාතා, නකුල පිතා, චිත්ත ගෘහපති, අනාථ පිණ්ඩික ආදීන් ඒ විදියේ ලොකු තත්ව ලබාගත්තේ. මේවායේ යෙදෙනවා අර අනිකුත් ඒ මිල මුදල් පිළිබඳ කාරණා වල නිරත වෙලා ඒවායේ ගැලිලා ජීවත් උනු ජීවත නොවෙයි ඒ බුද්ධ කාලේ බෞද්ධ ගිහි පින්වතුන් උපාසක උපාසිකාවන් අතර තිබුනෙ. ධර්මයට නැඹුරු වෙලා, ධර්මයට කොහොම හරි කාලය සොයාගෙන, ඒ විදියට සමාධියක් දියුණු කර ගන්න පුළුවන්. ඊළඟට ඊට වඩා වටිනා දේ තමයි අන්තිමට ඒ සමාධියත් උපකාර කරගෙන ලෝකයේ යථා තත්වය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව තේරුම් ගැනීම, එදිනෙදා ජීවිතයේ මේ සිදුවන සිදුවීම් තුළින්ම. ඇත්ත වශයෙන් ලෝකයේ සිදුවෙන සෑම සිදුවීමක්ම දාන්න පුළුවන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කාරණා තුන තුළට. මේක ලකුණු තුනක්. මේ ලකුණු තුන හැම තැනම දකින්න පුළුවන්. බැලූ බැලූ තැන. නමුත් ඒකට හරියාකාර මෙනෙහි කිරීම තිබෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්න හරි දැක්ම තිබෙන්ට ඕන. හරි දැක්ම තියෙන පුද්ගලයාට මේ ලෝකෙ ගලන ඇළ, දොළ, ගංගා, මේ ගස්වලින් වැටෙන ගෙඩි, මල්ඵල, මේ හැම දෙයක් තුළින්ම විදර්ශනාව දියුණු කරගන්න පුළුවන්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ත්‍රි ලක්ෂණය දකින්න පුළුවන්. අන්න ඒ විදියට එදිනෙදා ජීවිතයේ තමන්ගේ සිත හසුරුවාගන්න පුළුවන් ආකාරය ගැන හොඳට කල්පනා කරන්ට ඕන. මේක බෑ කියල කල් දාන්න නැතිව, වයෝවෘද්ධ උනු අවස්ථාවේ, මරණාසන්න අවස්ථාවේ, පමණක් සිත පහදවාගෙන අර මට්ටකුණ්ඩලී වගේ දිව්‍ය ලෝකයක් යන්ට ඕන කියලා හිතගත්තොත් ඔන්න මේ ධර්ම කථාව වැරදි විදියට තෝරුම් ගත්ත වෙනවා. විපරීත විදියට තේරුම් ගත්ත වෙනවා. එහෙම නොවෙයි හිතන්න තියෙන්නේ. දැන් මේ ලෝකෙ කථාවක් තියෙනවා අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා. අන්න ඒ ඒ විදියට මේ සුළු මොහොතෙ මේ තරම් දෙයක් කරගන්න පුළුවන් නම් හිතෙන්, මේක හොඳට දියුණු කරගත්තම මොනවා කරන්න බැරිද කියලා අන්න ඒ විදියට කල්පනා කරන්ට ඕන. එහෙම කල්පනා කරගෙන අද දින ශීල සමාදානයෙන්, ඊළඟට මේ ධර්ම ශ්‍රවණයෙන් තුණුරුවන් කෙරෙහි සිත පහදවා ගැනීමෙන්, තමන් මේ ගාථාවෙන් ප්‍රකාශ කළ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්ට ආරම්භයක් කළා. ඒ තුළින් ජනිත වූ මේ කුසල සම්භාරය, යම් කිසි අවස්ථාවක අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන නිවනට උපකාරී වන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, තමන්ගේ චිත්ත සන්තානය තුළ වගා දියුණු කර ගැනීමෙන්, මේ ජීවිතයේදීම හැකිනම් ඒ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහන්, කියන මාග් ඵල අවබෝධයෙන්, මේ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන සියලු ජාති, ජරා, ව්‍යාධි, මරණ, ආදී සංසාර දුකින් අත්මිදී අමා මහ නිවනින් සැනසීමට හැකියාව ලැබේවා, ශක්තිය ලැබේවා, බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්ට ඕන. ඒ වගේම යම් තාක් ශාසනාරක්ෂක සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම සමූහයක් සිටිනවා නම්, ඒ විදියම මේ පූජනීය ස්ථානයට අධිගෘහිත දෙවි දේවතාදී යම් ආත්ම භාවයන් සිටිනවා නම් පිං කැමති නිවන් කැමති, ඒ සැම කෙනෙක්ම මේ අපේ ධර්ම දේශනාමය, ධම්‍ය ශ්‍රවණමය කුසලය අනුමෝදන් වේවා, අනුමෝදන් වී ඒ හැම කෙනෙක්ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා කියලා ප්‍රාර්ථනා කරන්න.නැසී මිය පරලොව ගියා වූ යම්තාක් ඥාතීහු වෙත්නම් එපමණක් නොවෙයි, අවීචියේ පටන් අකනිටාව දක්වා වූ යම්තාක් පින් කැමැති නිවන් කැමති සත්වයෝ වෙත්ද ඒ හැම කෙනෙක්ම අපගේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවනමය කුසලය අනුමෝදන් වී ඒ තම තමන්ගේ දුගති තත්වවලින් මිදී ධර්ම මාර්ගයේ යමින් හැකි තාක් ඉක්මනින් උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දැන් මේ විදියට ගාථා කියලා පින් පමුණුවන්න.